Quantcast
Channel: ඔබට ඉස්ලාම් »විවිද ප්‍රවර්ග
Viewing all articles
Browse latest Browse all 5

“ මේක මහා පුදුමාකාර ලෝකයක්…”

$
0
0

“මේක මහා පුදුම ලෝකයක්” මේ නිතර අපගේ මුවින් පිටවන වදනකි. එහෙත් මෙය නිතර ඇසෙන්නක් යැයි ඉවත දැමිය හැකි දැයි මොහොතකට සිතන්න. තරමක් නිදහසේ වත්මන් ලෝකය හා සංසන්දනය කර සිතන විට මෙහි ගැඹුරක් ඇති බව වැටහෙනවා නොවේද? සැබෑය … ලෝකය තුළ තත්පරයෙන් තත්පරයට පුදුමාකාර දේ සිදුවේ. පුදුමාකාර දේ නිර්මාණය වේ.පුදුමාකාර ජීවීන් බිහිවේ. මෙසේ බලන කල මේක මහා පුදුම ලෝකයකි.

මෙහෙව් පුදුමාකාර ලෝකයේ පුදුමකාර සිදුවීම් අතර අරුම පුදුම සිදුවීම්ද අඩුවක් නෙමැත. ලෝකයේ සීඝ්‍ර වර්ධනයකින් යුත් ආගම වූ “ඉස්ලාම්” දහම සම්බන්ධව ද වත්මන් ලෝකයේ සිදුවන සිදුවීම් පුදුමාකාරය. අතිශයින්ම පුදුමාකාරය. වර්ථමාන සමාජය දරුණුතම ‍කෙනණහිලිකම් කරන්නේ   “ඉස්ලාම් ධර්මය”ටය. එහෙත් වර්ථමානයේ ලොව සීඝ්‍රව වර්ධනය වන ආගමද එයමය. සිතන්න .. මෙහි පුදුමයක් තිබෙනවා නොවේද…?  සැබැවින්ම එය මුස්ලිම්වරයෙකු ලෙස සතුටු විය හැකි කරුණකි.

එ‍හෙත් මෙකී ප්‍රතිශත, නිවේදන හා විශ්ලේෂණ දෙස බලා උදම් අනනවා‍ට වඩා සැබෑ ඉස්ලාම් භක්තිකයෙකු ලෙස අපට කල යුතු වගකීම් පිළිබද අප මොහොතක් සිතිය යුතු නොවේද? මෙහි සැබෑ ඉස්ලාම් භක්තිකයා යනු දිනකට පස් වරක් පල්ලියට යන්නා නොවේ. අල්ලාහ් කෙරෙහි දැඩි භක්තියෙන් අල්ලාහ් නමදින සහ ඉස්ලාමීය මගපෙන්වීම් අනුගමනය කරන්නායි.

සිතන්න… සත්‍යවාදී මුස්ලිම්වරුන් ලෙස අප තුළින් මෙම අල්කුර්ආන් වැකියෙහි සදහන් මුස්ලිම්වරයා සොයන්න. අපට ඔහු හමුවේවිද? ‍වත්මන් ලෝකය තුඡ්ච ලෙස ඉස්ලාමයට කෙණෙහිලිකම් කරන්නට මෙයද අත් උදව්වක් වනවා නොවේද? මෙකී ලෝකයට පිළිතුරු දීමට පෙර අප මුස්ලිම් සමාජයේ සහෝදර මුස්ලිම්වරයාට සහෝදරත්වයේ දෑත දිගුකොට ඔහුට දීන් හි ස්ථාවර වීමට උදව් කල යුතු යැයි ඔබට වැටහෙනවා නේද? ඇතැම් විට අප තුළම දීන් ස්ථාවර කිරීමට අපට තවත් බොහෝ දේ ඉටු කිරීමට තිබෙනවා වන්නටද පුළුවන.

                                    අල්ලාහ්තආලා තවදුරටත් ශුද්ධ කුර්ආනයෙන් මෙසේ පවසා සිටී. “ (විශ්වාසවන්තයිනි!) ඔබලා අතර යහපත් මාර්ගය කරා කැදවන ප්‍රජාවක් (සෑමකල්හිම ) සිටිය යුතුය. (ආල ඉම්රාන්- 84)

 

යහපත් ක්‍රියා සදහා දිරි ගැන්වීම සහ යහ මාර්ගය කරා ආරාධනය මුස්ලිම්වරයෙකුගේ යුතුකම් බව දැන් අප තේරුම් ගතයුතුය. මුහම්මද් නබි (සල්) තුමා නබිත්වය ලැබූ දින සිට සිදුවූයේ එයය. ඇස්, ඉස් ,මස් ,ලේ හා තම ජීවිතය පමණක් නොව තම පවුලද දන් දී දීනුල් ඉස්ලාමය කෙරෙහි ජනයා වෙත ආරාධනා කල වීර චරිත ඉස්ලාම් ඉතිහාසයේ දුර්ලභ නොවේ. මෙවන් පහසුකම් නොලද යුගයක අපමණ බාධා ජය ගෙන දීනුල් ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කර ජනයා  යහමගට කැදවූ එකී උදාර පුරුෂයින් අතර අප කොහිද…?

                                    “ කවරෙකු අපගේ දීන් වෙනුවෙන් උත්සාහ කරන්නේද අප ඔවුනට අපගේ මාර්ග විවෘත කර දෙන්නෙමු. (අල් අන්කබුත් – 69)”

“ඔබලා අල්ලාහ්ට ශුද්ධ වූ දීනුල් ඉස්ලාමය සදහා උදව් කිරීමට සූදානම් වන්නේ නම් ඔහු ඔබලාට උදව් කරයි , ඔබලාගේ පාද ස්ථිර කරයි. (මුහම්මද් – 7)”

අප ලද ඉස්ලාමයේ සත්‍ය බව හා නිවැරදි බව ආරක්ෂාකරන බව අල්ලාහ්තආලා දුන් පොරොන්දුවකි. එහෙත් එහි උසස් බවට හා ව්‍යාප්තියට අපගේ උත්සාහය මෙන්ම ක්‍රියාකාරීත්වය අපේක්ෂා කරයි. එමෙන්ම එම උත්සාහයන් සදහා අප වෙත ප්‍රති උපකාර කිරීමටද පොරොන්දු දී ඇති අයුරු උක්ත ශුද්ධ කුර්ආන් වැකී මගින් පැහැදිලි වේ. තවද මේ පිළිබදව නබි (සල්) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.

“ යම් කෙනෙක් යහපත් ක්‍රියාවක් ගැන (වෙනත් අයෙකු ) දැනුවත් කරන්නේද ඔහුට එය කරන තැනැත්තාට සමාන පිනක් හිමිවේ. (මුස්ලිම්)”.

 

අප නොදකින නොසිතන අයුරින් අල්ලාහ්තආලාගේ උදව් උපකාර ලබා ගැනීමට හා අල්ලාහ්තආලා ප්‍රිය කරන්නෙකු වන්නට අපට මෙමගින් හැකිවන බව පෙනී යනවා නේද?

                                    “ විශ්වාසවන්ත කාන්තාවන්ද විශ්වාසවන්ත පිරිමින්ද සමහරෙක් සමහරෙකුට වගකිව යුත්තෝය. ඔවුන් (තමන් අතරේ ) හොද දේ කියා දෙති. නරක දෙයින් වලක්වාති. (අත් තව්බා – 71)”

 

නැවත නැවතත් මෙකී කරුණ ලිංග භේදයකින් තොරව සියළු මුස්ලිම්වරුන්ගේම බැව් සිහිපත් කරවන අල්ලාහ්තආලා

“ (දූතය) ඔබ ප්‍රියමනාපවූ අනුශාසනා කිරීමෙන්ද (ශිල්ප ) ඥානයෙන් යුතුවද ඔබගේ පරමාධිපතියන්ගේ මාර්ගය කරා ආරාධනා කරන්න. (අන් – නහ්ල් – 125)”

යනුවෙන් දක්වමින් යහමග කරා ඇරයුම් කල යුතු අයුරු අවධාරණය කර ඇත. තවද අල්ලාහ්තආලා මෙසේ ද දන්වා සිටී.

“ ක්ෂමාව දෙන්න. හොද දේ අණ කරන්න. අඥානයන්ගෙන් ඈත් වන්න.(ඔවුන් ) සමග තර්ක නොකරන්න. (අල් – අ:ෆාර්- 199)”

 

මෙහි සිතා බලන්නට වැදගත් යමක් ඇත. “අඥානයන් සමග තර්ක නොකරන්න.” මෙය සියළු කාලයන්ටම උචිත අවවාදයකි. ඉස්ලාම් හි ව්‍යාප්තිය නොඉවසන ඇතැම් අය විවිධ වෙබ් අඩවි , පුවත් පත් ලිපි , වීඩියෝ පට ආදී වත්මන් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉස්ලාමයට පහර දෙන්නට අසාර්ථක උත්සාහයක  නිරත වන බව අපි දකිමු. මෙවන් කණ්ඩායම් පුහුණු කරන ආයතනද පවත්වාගන යන බව අපි දනිමු. මෙවන් අයට කිසිවක් තේරුම් කිරීමද අරුත් සුන්ය. එබැවින් එවැන්නන්ට මහා රාළලා සේ සිටින්නට දී අප අපගේ ක්‍රියාවලියෙහි නිරතවීම මෙහිදී වැදගත් බැව් ඉහත අවවාදයෙන් මනාව අවධාරණය වේ.

උක්ත සියළු කරුණු අපට එක් දෙයක් සිහි ගන්වන අතර එකී කර්තව්‍ය සාර්ථක කර ගැනීමට කවරෙකු ආදර්ශයට ගත යුතුදැයිද පවසා ඇත.

“ ස්ථිර වශයෙන්ම ඔබට අවශ්‍ය අලංකාර ආදර්ශ අල්ලාහ්ගේ දූතයා වෙත තිබේ. (අහ්සාබ් – 21)”.

මදක් සිතන්න…  සැබෑ මුස්ලිම්වරයෙකු ලෙස අපට පැවරී ඇති වගකීම…

අනිවාර්යය වතාවත් වලින් ඔබ්බට ගිය අර්ථවත් හා වටිනා වගකීමක් මුස්ලිම්වරුන් වූ අප සතුය. ඒ ජනයා යහමග වෙත කැදවීමය. එසේ නම් මෙකී කර්තව්‍යයට සැබෑ මුස්ලිම්වරුන් ලෙස අත්වැල් බදින්නේ කවදාද…? ලෝකය ‍හැල්මේ ඉස්ලාමය ව්වේචනය කළද ඉස්ලාමය අත්හිටුවන්නට නොහැක. මන්ද යත් ඉස්ලාමය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ්තආලා බාරගන සිටින බැවිනි. එහෙත් එය එසේ යැයි කියා අපට නිහඩව සිටීමට අවකාශ නොමැත. මන්ද අප සතු වගකීම් කොටසක්ද ඇති බැවිනි. සිතන්න.. සියළු භේද අතහැර මුස්ලිම්වරුන් ලෙස මෙකී වගකීම් ‍වෙනුවෙන් අත් වැල් පටලා ගන්නේ කවදාද…? මේ දැන්ද….අදද….හෙටද… නැත්නම් කවදාද….?

අල්ලාහ්ගේ සන්නිධානයේ එකම ආගම ඉස්ලාම් බැව් අපි දනිමු. මුස්ලිම් සමාජය තුළද නිවැරදි ඉස්ලාමය ව්‍යාප්ත කිරීමට වර්ථමානයේදී අපට සිදුව ඇත. එසේනම් ඔබ ,මම නිවැරදි මුස්ලිම්වරුන් වී අපගේ නිවසත් සමාජයත් එහි ස්ථාවර කරන්නට පියවර ඔසවන්නේ කවදාද…? ඒ සදහා මේ ධර්මද්වීපයේ අපටම කියා වෙන්වුනු විසි හතර පැයේ අවදියෙන් සිටින ගුවන් විදුලි නාලිකාවක් … අප පිළිබද සාකඡ්චා මණ්ඩපයක් තනන්නට රූපවාහිනී නාලිකාවක් අරඹන්නට ඉඩ ලබා දෙන තුරු සිටිනවාද…?

නැතිනම් ඉස්ලාම් නමින් දිනපතා පුවත් පතක් නිකුත් කරන තුරු සිටිනවාද….? මුස්ලිම්වරුනි, මේ සිතන්නට නොව අවදිවන්නට කාලයයි. මෙකී ඇරයුම ඇතැම් ජාතිමාමක , ශාසනමාමක හා දේශමාමක යැයි කියා ගන්නා අයවලුන් කියා සිටින්නා වූ මන:කල්පිත “ නස්රිස්ථාන් “ වැනි වෙනම රාජ්‍යයක් උදෙසා වූ මුස්ලිම් අන්තවාදයේ භීතිකාවක් මේ එක්සත් රටෙහි ගොඩනගන්න‍ට නොව , ඇතැම් නාමික මුස්ලිම්වරුන්ටත් අනෙකුත් ජනී ජනයාටත් යහමගට ඇරයුම් කරන්නට සහෝදරත්වයේ දෑත දිගු කරන්නටයි.

අයෙකුට හිදායත (යහමග) දිය හැක්කේ අල්ලාහ්තආලාට පමණක් බැව් අප තරයේ විශ්වාස කරමු. එහෙත් එකී කර්තව්‍යයට අපගේ උත්සාහයෙන් දායක වන්නට අප ස්ථිරට අතවැල් බැද පියවර තබන දා සැබැවින්

“මේක මහා පුදුම ලෝකයක් වේවි….”. ඉන් ෂා අල්ලාහ් …!!!

මෙකී ඵලබර ක්‍රියාවලියට එක් සිතින් එක්සත්ව අප පවුරක්ව නැගෙනා ලස්සන දවසක අරුණළු අල්ලාහ්තආලාගේ අනුහසින් විගසින් මේ මිහිමත පතිත වී සත්‍ය මාර්ගයේ ආරාධනයෙන් අසත්‍යයේ පිණි බිදු වියැකේවා…..!!! ආමීන්…..

 

The post “ මේක මහා පුදුමාකාර ලෝකයක්…” appeared first on ඔබට ඉස්ලාම්.


Viewing all articles
Browse latest Browse all 5

Trending Articles